ධම්මපදය – බුද්ධ වර්ගය – සබ්බ පාපස්ස අකරණං

සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා

සචිත්තපරියොදපනං එතං බුද්ධාන සාසනං.

(ප්‍රාණවධාදි) සියලු අකුශලකර්‍ම නොකිරීම ද, (ගේ හැර පැවිදි වූ තැන් පටන් රහත් පලයට පැමිණෙන තැන් දක්වා සියලු ලොවි ලොවුතුරා කුසල් ඉපැදැවීම ද, උපදවන ලද කුසලයේ වැඩීම ද, (පංච නීවරණ කෙරෙන්) තමා සිත පිරිසිදු කිරීම ද, යන මේ සියල්ල සියලු බුදුවරයන් ගේ අනුශාසන යි (අවවාද යි).

 

අර්ථ වර්ණනාව – 

සියලු පව් නො කිරීම, කුසල් ඉපදවීම, වැඩීම, සිය සිත පිරිසිදු කිරීම, පව් නො කිරීම, යන මෙය බුදුරජුන්ගේ අනුශාසනා ය.

ඉවසීම නැමැති ක්‍ෂාන්තිය උතුම් තපසෙකි. බුදුරජහු නිවන උතුමැයි කියත්. අනුන් පෙළනුයේ පැවිද්දෙක් නො වේ. අනුන් වෙහෙසන්නේ මහණෙක් නො වේ.

උපවාද නො කීරීම, හිංසා නො කීරීම, ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙහි සංවරය, අහරෙහි පමණ දැනීම, ගමට දුර වන සෙනසුනෙහි ඇලීම අට සමවත්හි නිති යෙදීම යන මේ සියල්ල බුදුරජුන්ගේ අනුශාසනා ය.

සබ්බපාපස්ස අකරණං = සියලු පව් නො කිරීම.

කාය වාක් දෙ දොර පහළ වන හටගැනෙන පව් නො කොට, හැරීම මෙයින් අදහස් කරණ ලද්දේ ය. ඒ නම් ආභිසමාචාරික ආදි බ්‍රහ්මචරියක වශයෙන් දෙපරිදි වූ ප්‍රාතිමෝක්‍ෂසංවර – ඉන්‍ද්‍රියසංවර – ආජීවපාරිශුධි – ප්‍රත්‍යය සන්නිශ්‍රිත යන චතුපාරිසුද්ධි සීලය රැකුම ය. සීල සංවරයෙන් සියලු පව් දුරුකීරීම මෙයින් වදාළ සේක. දැවුනු තාක් සිල් ‘සබ්බපාපස්ස අකරණං’ යන මෙහි ඇතුළත් ය. කාය වාක් දෙ දොරෙහි පිරිසිදු බව මින් දන්නේ ය. ශීලකථාව කියන ලදී. ඒ බලන්නේ ය.

කුසලස්ස උපසම්පදා = කුසල් ඉපදවීම, වැඩීම.

ලෞකික – ලෝකෝත්තර – ශමථ – විදර්‍ශනා වශයෙන් පැමිණිය යුතු ලැබිය යුතු කාමාවචරාදී වූ සිවුබිම පිළිබඳ කුසල් ඉපදවීම හා ඉපද වූ කුසල් වැඩීම මින්, ගැණේ. ශමථ විදර්‍ශනාවන් ගෙන් ලැබිය යුත්තේ සමාධිය යි. ඒ සමාධි ප්‍රතිලාභය ‘කුසලස්ස උපසම්පදා’ නම්. “උපසම්පදා ති අභිනික්ඛමන්තො පට්ඨාය යාව අරහත්තමග්ගා කුසලස්ස උප්පාදඤ්චෙ ව උප්පාදිතස්ස ච භාවනා” යනු අටුවා. සමථ නම්, අෂ්ට සමාපත්තීන්හි වූ සිතේ එකඟ බවය. එය විදර්‍ශනා පාදක කොට සිටියේ ය. විදර්‍ශනා නම්, අනිච්චානුපස්සනා – දුක්ඛානුපස්සනා – අනත්තානුපස්සනා – නිබ්බිදානුපස්සනා – විරාගානුපස්සනා – නිරෝධානුපස්සනා – පටිනිස්සග්ගානුපස්සනා යන සත් වැදෑරුම් අනුපස්සනා ය.

සචිත්තපරියොදපනං = සිය සිත පිරිසිදු කිරීම.

සිත පිරිසිදු කිරීම නම්, පංච නීවරණ ධර්‍මයන්ගෙන් සිත නිදහස් කොට ගැණීම ය. පංචනීවරණ නැති කිරීමෙන් සිත පිරිසිදු වේ. ශමථ විදර්‍ශනා මාර්‍ගඵලාවබෝධයෙන් ලැබෙන ප්‍රඥාවෙන් පංච නීවරණයන්ගේ නැසීම සිදු වේ. ශමථ විදර්‍ශනා මාර්‍ග ඵලාවබෝධයක් නැති ව නීවරණය නැසීමෙක් නො වන්නේ ය. කෙලෙස් නසා රහත්ඵලයට පැමිණීම මෙයින් වදාරණ ලද ය. “සචිත්තපරියොදපනන්ති නීවරණෙහි අත්තනො චිත්තස්ස වොදපනං” යනු අටුවා.

සීල බලයෙන් කය – වචන දෙකින් සිදු වන පව් නසා හෙවත් මැනැවින් සිල් රැක, ශමථ – විදර්‍ශනා බලයෙන් චාතුර්භුමික කුශලයන් උපදවා වඩා රහත්ඵලයට පැමිණ සිත පිරිසිදු කළ යුතු ය, යනු මේ ගාථාවේ ප්‍රථම – ද්විතීය – තෘතීය පාදයන්ගෙන් ලැබෙන අර්‍ත්‍ථය යි. ශීල – සමාධි – ප්‍රඥා ශික්‍ෂාත්‍රය ය මෙයින් කියවේ.

එතං බුද්ධාන සාසනං = මේය බුදුවරුන්ගේ අනුශාසනා.

හික්ම විය හැකි ජනයන්ට නිවන් මග පෙන්වා ඔවුන් එහි ගමන් කරවනු පිණිස දෙසූ දේශනාමාර්‍ගය වදාළ ධර්‍ම මාර්‍ගය අවවාදය අනුශාසනා නම්. ශාස්තෘශාසන – සුගතෝවාද – සද්ධර්‍ම බ්‍රහ්මචර්‍ය්‍ය යන නම් ද මේ සඳහා යෙදේ.

ගාථාව අසන්න –

ධර්ම දේශනාව අසත්වා ! – අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මහස්ථවිරයන් වහන්සේ විසින් දේශිත යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *